• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂිත ළමා රෝග ඒකකයක් ඉදි කිරීම
- ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම තෘතීය සත්කාර රෝහල වේ. මෙම රෝහලේ වාට්ටු 60ක් හා ඇඳන් 1,900ක් පවතින අතර ළමා රෝගීන් සඳහා වෙන් වී ඇත්තේ ඉන් ඇඳන් 250ක් පමණි. එමෙන්ම මෙහි ළමා ස්නායු දැඩි සත්කාර ඒකකය, ළමා රෝග දැඩි සත්කාර ඒකකය හා ළමා රෝග ශල්‍ය ඒකකයද වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, සියලුම පහසුකම්වලින් සමන්විත ළමා රෝග ඒකකයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමට තීරණය කරනු ලැබ ඇති අතර ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ ලබාගැනීමට යටත්ව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.