• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය
- දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් කිරි ගව කර්මාන්තය සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දී තිබේ. මේ යටතේ විශාල සහ මධ්‍ය පරිමාණ වාණිජ කිරි ගොවිපළ ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීමේ අරමුණින් කිරි දෙනුන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන අතර මෙහි පළමු කිරිගවයින් තොගය 2017 මැයි 17 වන දින මෙරටට ළඟාවීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ ආනයනය කරනු ලබන උසස් වර්ගයේ කිරි ගවයින්, වාණිජ මට්ටමින් කිරි ගොවිපළවල් පවත්වා ගෙන යනු ලබන ගොවීන් වෙත සහන මිලකට ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සහන ණය යෝජනා ක්‍රමයක් හරහා ලබා දීමටත් නියමිතය. එමෙන්ම, නවීන ගොවිපළ පිහිටුවීම සහ එහි මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිලාභීන් වෙත පුහුණුව සහ පශු වෛද්‍ය සහාය ලබා දීමට අපේක්ෂිතය. මේ වන විට පළමු අදියර සඳහා ප්‍රතිලාභී කිරි ගොවීන් තෝරා ගෙන ඇති අතර අදාළ ගොවිපළවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙමින් පවතී. ඒ අනුව, අවම වශයෙන් කිරි දෙනුන් 10ක් සහිත ප්‍රතිලාභී ගොවිපළක සමෘද්ධිලාභීන් දෙදෙනෙකුටවත් රැකියා සැපයෙන පරිදි, ඉහත යෝජිත ක්‍රමවේදය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.