• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිරිදිය ජලජීවි වගාව ප්‍රවර්ධනය සඳහා පුරන් වූ කුඹුරු යොදා ගැනීමේ වැඩ සටහන
- ශ්‍රී ලංකාවේ සමස්ත මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයෙන් 13%ක පමණ ප්‍රමාණයක් ජලජීවී වගාව මඟින් සිදු කෙරේ. ජලජීවී වගාව වැඩි දියුණු කිරීම මඟින් මෙරට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය වැඩි දියුණු කිරීමේ හැකියාවක් පවතී. තෙත් කලාපයේ හා වියළි කලාපයේ කිසිදු වගාවක් සඳහා යොදා ගත නොහැකිව අත්හැර දමා ඇති පුරන් කුඹු‍රු ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් ජලජීවී වගාව සඳහා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති අතර, එමඟින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 10,000කින් පමණ ඉහළ නැංවීමටත්, රුපියල් මිලියන 2,500ක පමණ අමතර ආදායමක් උත්පාදනය කිරීමට හැකි බවටත් ගණන් බලා තිබේ. ඒ අනුව, මේ සඳහා අවශ්‍ය පුරන් කුඹුරු ඉඩම්, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් පසුව හා අදාළ ආයතනවල අනුමැතියට යටත්ව ලබා ගෙන, කුඹුරුවල ජලය බැසයාමේ කාර්යයට බාධාවක් නොවන පරිදි, ස්ථිර ඉදි කිරීම්වලින් තොරව මිරිදිය ජලජීවී වගා කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.