• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු ආසියාවේ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වශයෙන් කොළඹ නගරය සංවර්ධනය කිරීම
- පාරිසරික හා සංස්කෘතික තිරසර බව දීර්ගකාලීනව රැක ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණයි. මෙර‍ට සංචාරක කර්මාන්තය පසුගිය කාලසීමාව තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර 2016 වසරේදී මිලියන 2කට වැඩි විදේශිකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. මෙරට සංචාරය කිරීමේ අරමුණ අනුව වර්ග කිරීමේදී, විදේශ සංචාරකයින්ගෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් විනෝදාස්වාදය සඳහා මෙරටට පැමිණෙන අතර, තවත් 25%කට වැඩි ප්‍රමාණයක් තම මිතුරන් හෝ නෑදෑයින් මුණගැසීම සඳහා මෙරටට පැමිණේ. අප රටට ආවේණික වූ හරවත් සංස්කෘතික සම්ප්‍රදායන්, කලාශිල්ප, නැටුම්, සූපශාස්ත්‍රය සහ උත්සව ආදී ක්ෂේත්‍රයන්හි සංචාරකයින් ආකර්ශණය කරගැනීමට සුවිශාල විභවතාවක් ඇතත්, ආගමික හා සංස්කෘතික අරමුණු පෙරදැරිව මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය 1%කටත් වඩා අ‍ඩු වේ.

ඒ අනුව, දේශීය කලා හා සංස්කෘතිකාංග ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවන් උදා කරගැනීම අරමුණු කරගනිමින්, ජාත්‍යන්තර කලාවන් සහ සංස්කෘතිකාංග ප්‍රවර්ධනය කිරීම සඳහා වන දකුණු ආසියාවේ රංගන සහ ප්‍රදර්ශන කේන්ද්‍රස්ථානයක් වශයෙන් කොළඹ නගරය සංවර්ධනය කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.