• Increase font size
  • Default font size
  • Decrease font size

2017-04-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමුද්‍රාශ්‍රිත මුදා ගැනීම් සම්බන්ධීකරණ කටයුතු වැඩිදියුණු කිරීම
- ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතිය, සමුදුරේදී ජීවිත සුරක්ෂිත කිරීමේ සම්මුතිය සහ සාගර නීති සම්මුතිය යන ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව, ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ ධීවර හා නාවික කටයුතුවල නිරත වන අතරතුරදී අනතුරට පත්වන යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම පිණිස සෙවුම් හා මුදා ගැනීමේ සේවාවන් සැපයීම සඳහා 'සමුද්‍රාශ්‍රිත මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්' පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. දැනට මෙම වගකීම වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැවරී ඇති අතර එම කාර්යාලය විසින් එකී කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරනු ලැබ තිබේ.

මෙරට මුහුදු කලාපය තුළ අනතුරට පත් වන යාත්‍රා සමඟ සෘජුව සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම, එවැනි යාත්‍රා සඳහා සහාය සැපයීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා මෙරට සමුද්‍රාශ්‍රිත මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති අතර වෙළඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පාර්ශ්වකරුවන් ලෙස එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ඇත. මෙහි මෙහෙයුම් ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹ ස්ථාපනය කිරීමටත්, ද්විතීයික මෙහෙයුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ස්ථාපනය කිරීමටත්, ඊට අමතරව ගාල්ල, ත්‍රිකුණාමලය, පේදුරුතුඩුව, මොල්ලිකුලම, ආරුගම්බේ, මඩකලපුව සහ කල්අරාව යන ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථාන 07ක උප ඒකක ස්ථාපනය කිරීමටත් සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ ආරම්භ කර වසර 04ක් තුළ සම්පූර්ණ කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.