• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘදය පිළිබඳ ප්‍රතිකාර සහ අවදානම් සහිත රෝගී සත්කාර සේවා සඳහා සංකීර්ණයක් ඉදිකිරීම
- හෘද රෝග සහිත දරුවන් සඳහා පුළුල් ප්‍රතිකාර සේවා ලබා දීමේ හැකියාව ඇති එකම රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල වන අතර එහි සිදු කරනු ලබන හෘද ශල්‍යකර්ම සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් අවශ්‍ය සම්පත් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, නවීන පහසුකම්වලින් සමන්විත හෘද ශල්‍යාගාර 4ක්, හෘද දැඩි සත්කාර ඒකක ඇඳන් 14ක්, වෛද්‍ය දැඩි සත්කාර ඒකක ඇඳන් 33ක් සහ නවජ ළදරු විශේෂ ප්‍රතිකාර සේවා ඇඳන් 50ක් සහ අනෙකුත් අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මහල් 10කින් යුත් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ සඳහා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ලබා දී ඇති සංශෝධිත ඇස්තමේන්තුව අනුව ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 2,439.7ක් වශයෙන් සංශෝධනය කිරීමටත්, මෙම පිරිවැය ඒකාබද්ධ අරමුදලින් සහ ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ ආයතනය විසින් 'Little Hearts' යනුවෙන් රැස් කර ඇති අරමුදල් මඟින් ආවරණය කර ගැනීමටත්, මෙහි ඉදි කිරීම් කටයුතු වසර දෙකක් තුළ නිම කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.