• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන (විද්‍යුත් මෝටර් රථ) ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන නියාමනය
- විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 2014 දී 90කට සීමා වී තිබූ විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව මේ වන විට 4,000ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. එම මෝටර් රථ සඳහා විදුලිය ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50ක් පමණ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන රට තුළ ක්‍රියාත්මක වේ. මෙම විද්‍යුත් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථානවල විදුලිබල අලෙවියක් සිදු වන නමුත් එම කටයුතු නියාමනය කිරීම සඳහා වන ප්‍රතිපාදන 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට ඇතුළත් වී නොමැත.

ඒ අනුව, විද්‍යුත් මෝටර් රථ භාවිතාකරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආරෝපණ ගාස්තු, ආරක්ෂක ප්‍රමිතීන්, මිනුම් උපකරණවල නිරවද්‍යතාව, පාරිභෝගික පැමිණිලි හා ආරවුල් විසඳීමට මැදිහත්වීම ආදී කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින්, අදාළ විධිවිධාන ඇතුළත් කර එකී පනත සංශෝධනය කිරීමටත්, එතෙක් විද්‍යුත් මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාවල කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මඟපෙන්වීම අනුව කටයුතු කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.