• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආර්ථික ප්‍රතිඵල අත් කර දීමේ වැඩ සටහන (EDP) සඳහා පරමාර්ථ හා ප්‍රමුඛතා නියම කිරීම
- ශ්‍රී ලංකාවේ කඩිනම් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයක් (CPMU) ස්ථාපිත කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඉදිරි වසර 3 ඇතුළත ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ආර්ථික ප්‍රතිඵල අත් කර දීම කඩිනම් ‍කිරීම කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් අත් කර ගත යුතු ප්‍රතිඵල සහ ප්‍රමුඛතා පෙළගැස්වීමත්, මධ්‍යම වැඩසටහන් ඒකකයක් පිහිටුවීමටත් මේ අනුව කටයුතු කෙරෙමින් පවතී. දැඩි සේ ඉලක්කගත කොට ක්‍රියාත්මක කරනු ලබන මෙම ආර්ථික ප්‍රතිඵල අත් කරදීමේ වැඩසටහන යටතේ පහත සඳහන් ප්‍රමුඛතා ක්ෂේත්‍ර 5හි වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ.

i මහජනතාව ලබන ආදායම
ii පෞද්ගලික අංශයේ රැකියා
iii දේශීය හා විදේශීය ආයෝජන
iv අපනයනය
v රජයේ ආදායම

‍සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන යන ක්ෂේත්‍ර මෙම වැඩසටහන යටතේ අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකර ගැනීම සඳහා සෘජු බලපෑමක් ඇති කළ හැකි ක්ෂේත්‍ර ලෙස තෝරා ගෙන ඇත. එසේම මෙම වැඩසටහනට සහයෝගී ක්ෂේත්‍ර වශයෙන් ආයෝජන, ඩිජිටල් ආර්ථිකය සහ රාජ්‍ය ආදායම යන අංශ හඳුනාගනු ලැබ ඇත. මෙම ඉලක්කගත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ අමාත්‍යවරුන්ගේ නායකත්වය යටතට පත් කිරීමටත්, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් සෑම දෙසතියකටම වරක් එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමටත් සැලසුම් කර ඇත. ඒ අනුව, නිශ්චිත කාලරාමුවකට යටත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.