• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාන ජාතික පොලිස් විද්‍යාපීඨයේ නේවාසික ගොඩනැඟිල්ල සහ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කි‍රීම
- පොලිස් නිලධාරින්ගේ දැනුම, ආකල්ප සහ කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරම්භ කෙරුණු 'කටාන, පොලිස් පුහුණු පාසල', 2009 වර්ෂයේදී 'කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨය' බවට පත් විය. අක්කර 39කින් යුත් භූමි භාගයක පිහිටා ඇති මෙම විද්‍යාපීඨය, ජාත්‍යන්තර පොලිස් විද්‍යාපීඨ හා සමාන වන පරිදි සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් වේ. ඒ අනුව, නිලධාරින් 450 දෙනෙකු සඳහා එකවර පුහුණු කිරීමට අවශ්‍ය නවාතැන් පහසුකම්, පරිපාලන කටයුතු, දේශන ශාලා, පුස්තකාල පහසුකම්, සුබසාධන කටයුතු හා විනෝදාත්මක පහසුකම් මෙම විද්‍යාපීඨය තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. එම සංවර්ධන ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන්, 2017 - 2019 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ රුපියල් මිලියන 674.26ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් කටාන, ජාතික පොලිස් විද්‍යාපීඨයේ නේවාසික ගොඩනැඟිල්ල සහ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කි‍රීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.