• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයුර්වේද රෝහල් ඉදි කිරීම හා ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
- දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රවර්ධනය සඳහා වන අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කඩිනම් කිරීම යටතේ යක්කල ආයුර්වේද රෝහල සඳහා මහල් 10කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කෝනේස්පූරිහි සිද්ධ වෛද්‍ය ශික්ෂණ රෝහලක් ඉදි කිරීම, මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්චන්තුඩුවායි ආයුර්වේද රෝහල සඳහා වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සහ යාපනය දිස්ත්‍රික්කයේ, කයිතඩි ආයුර්වේද රෝහල සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් 2014 වර්ෂයේදී අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි වෙදගම ගම්මානය තුළ පාරම්පරික ආයුර්වේද රෝහලක් ඉදි කිරීම සඳහා ද 2016‑07‑13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. විවිධ හේතු මත දැනටමත් ප්‍රමාද වී ඇති මෙම ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කොට, අවම පිරිවැයකින් හා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතුව, වඩාත් ඵලදායී ලෙස එම කටයුතු නිම කිරීම සඳහා මෙම ව්‍යාපෘතිවලට අදාළ උපදේශක සේවාවන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් ලබාගැනීමටත්, එම ව්‍යාපෘතිවල ඉදි කිරීමේ කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පවරා ඉදි කිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.