• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තැලසීමියා රෝගීන් සඳහා වන ඇට‍මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහලේ ඉදි කිරීම
- ශ්‍රී ලංකාව පුරා 3,500කට වැඩි තැලසීමියා රෝගීන් ප්‍රමාණයක් හා තැලසීමියා රෝග වාහකයින් ආසන්න වශයෙන් 500,000ක් පමණ වෙතැයි හඳුනාගනු ලැබ ඇත. ඇ‍ටමිදුළු මඟින් සිදු කෙරෙන සෛල ප්‍රතිකර්ම සහ පෙකණිවැල ආශ්‍රිත රුධිර පාරවිලයනය මෙම රෝගය සඳහා ස්ථිර ප්‍රතිකාරයක් ලෙස ලෝකයේ බො‍හෝ රටවල් විසින් හඳුනාගනු ලැබ ඇතත්, මේ සඳහා පහසුකම් ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල දැනට නොමැත. එබැවින් තැලසීමියා රෝගීන් සඳහා වන ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ අවශතාව පැන නැඟී ඇත. ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් කුරුණෑගල, කොළඹ, ගම්පහ, අනුරාධපුර, බදුල්ල, අම්පාර හා මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව හඳුනාගනු ලැබ ඇති බැවින්, එකී ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය මහනුවර ශික්ෂණ රෝහල තුළ ස්ථාපිත කිරීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, තැලසීමියා රෝගීන් සඳහා වන ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය සඳහා වන නව ‍ගොඩනැඟිලි සංකීර්ණය මහනුවර ශික්ෂණ රෝහල තුළ ඉදි කිරීම, 'සැලසුම් කර ඉදි කර දීමේ' (Design and Build) පදනම මත, රුපියල් මිලියන 856.9ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) හා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CESL) යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.