• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ටෙලිකොම්හි උප සමාගමක් වන SLT හියුමන් කැපිටල් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගමේ සේවක පිරිසක් සම්බන්ධව ඇති වී තිබෙන ආරවුල නිරාකරණය සඳහා යෝජනාව
- ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ (SLT) උප සමාගමක් වන SLT හියුමන් කැපිටල් සොලුෂන්ස් (පෞද්ගලික) ආයතනය (HCS), ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඇතුළුව පිටස්තර ආයතනවලට මානව සම්පත් සැපයීම සඳහා පිහිටු වන ලද ආයතනයක් වන අතර එහි සමස්ත කාර්යමණ්ඩලය 2,650කි. ඒ අතුරින් 2,180ක් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත අනුයුක්ත සේවකයින් වන අතර ඔවුන් සියලු දෙනාම HCS ආයතනයේ සේවකයන් ලෙස රැකියා ගිවිසුමකට යටත්ව බඳවාගෙන එම ආයතනයෙන් වැටුප් හා අනෙකුත් පහසුකම් ලබන සේවකයින් වේ. ඔවුන්ගෙන් 1,331 දෙනෙකුගේ සේවය ස්ථිර කර ඇත. එම සේවකයින් අතිකාල දීමනා හා වාර්ෂික ප්‍රසාද දීමනා ද සහිතව මාසිකව රුපියල් 30,000/- සිට රුපියල් 100,000/- දක්වා වැටුප් ලබන අතර වාර්ෂික ප්‍රසාද දීමනාවලට අමතරව වැටුප් වැඩිවීම් සහ රක්ෂණාවරණ ඇතුළු අනෙකුත් පහසුකම් ද භුක්ති විඳිනු ලබයි.

මෙම සේවකයින්ගෙන් කොටසකගේ වෘත්තීය අරගලයේ ඉල්ලීම වන්නේ ඔවුන් ශ්‍රී ලංකා ටෙලිකොම් සේවයේ සේවකයින් ලෙස සලකා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අන්තර්ග්‍රහණය කිරීම වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව ආයෝජන සැලස්ම යටතේ පාරිභෝගික සබඳතා කටයුතු පරිගණක ගත කිරීමෙන් අනතුරුව, සැලකිය යුතු සේවක අතිරික්තයක් ඇති විය හැකි බව ඇස්තමේන්තු කරනු ලැබ තිබේ. අදාළ සේවකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන් ‍ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අන්තර්ග්‍රහණය කරනු ලැබුවහොත් රුපියල් බිලියන 1.6ක අතිරේක පිරිවැයක් දැරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සිදු වනු ඇත.

කෙසේ වෙතත් පැන නැඟී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන, සානුකම්පිත පියවරක් වශයෙන්, 2017 වර්ෂයේ සිට 2020 වසර දක්වා අදියර හතරක් (04) යටතේ HCS ආයතනයේ පළපුරුදු හා වෘත්තීය සුදුසුකම්ලත් සේවකයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.