• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත සංශෝධනය කිරීම
- 2008 අංක 33 දරන සංශෝධන පනත මඟින් සංශෝධිත 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත මඟින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ප්‍රතිපත්තීන් සඳහා නීතිමය කාර්යරාමුව ස්ථාපිත කරනු ලැබ ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් මහජනයාට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීම සඳහා පුරවැසියන්ගේ ජෛවමිතික තොරතුරු ඇතුළුව පොදු පුරවැසි දත්ත ගබඩා කරගත හැකි සහ අනෙකුත් රජයේ ආයතන සමඟ එම දත්ත බෙදාහදා ගත හැකි 'ජාතික ඩිජිටල් අනන්‍යකාරකයක්' (National Digital Identifier - NDI) සහ ජාතික ඩිජිටල් ගනුදෙනු කිරීමේ (National Digital Transaction - NDT)වේදිකාවක් ස්ථාපිත කිරීමේ අදහස ඇතිව මධ්‍යගත ගෘහස්ත හුවමාරු කළමනාකරණ ව්‍යාපෘතියක් (Centralized Household Transfer Management Project) ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සැපයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (ICTA) වෙත බලය පවරනු ලැබ ඇත. ඉහත සඳහන් ව්‍යාපෘතියේ වැදගත්කම සැලකිල්ලට ගැනීමේදී පෞද්ගලික තොරතුරුද ඇතුළුව දත්තවල ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව නිරීක්ෂණය වන හෙයින් පුරවැසියන්ගේ පෞද්ගලික දත්ත එකතු කිරීම, ගබඩා කිරීම, බෙදාහදා ගැනීම හා භාවිත කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් (National Policy on Collection, Storage, Sharing and Use of Citizens' Personal Data) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය විසින් සකස් කළ යුතුව ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ‍ලද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උපායමාර්ග හා වැඩසටහන් විධිමත්ව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා යෝග්‍ය ආයතනික විධිවිධාන, පාලනය හා මෙහෙයුම් ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීම පිණිස 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ බලතල ක්‍රියාවට නැංවීමට අන්තර් අමාත්‍ය කමිටුවට හැකියාව ලැබෙන පරිදි එම පනතට සිදු කළ යුතු අවශ්‍ය සං‍ශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට නියම කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.