• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1929 අංක 17 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම
- 2021 වර්ෂය වන විට මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම හා සැපයුම සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා අවම මට්ටමක් දක්වා ගෙන ඒම මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් රජයේ ඉලක්කය වේ. එහිදී මත්ද්‍රව්‍ය නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියලුම ආයතන, පළාත් හා ප්‍රාදේශීය පරිපාලනය ඇතුළුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෘජුව ක්‍රියා කරන රාජ්‍ය ආයතන සහ අදාළ අනෙකුත් නියෝජිතායතන වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක වීම උදෙසා මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක නීති පද්ධතිය සංශෝධනය කිරීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. වර්තමානය වන විට ගංජා හා හෙරොයින් යන මත්ද්‍රව්‍ය මහත් තර්ජනයක් බවට පත්ව ඇති අතර, මෙම ජාවාරම් හේතුවෙන් අනාගත පරපුර විශාල අනතුරකට මුහුණපාමින් සිටී. ශ්‍රී ලංකා පොලීසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන වැටලීම් නිසා ලංකාව තුළ ගංජා වගාව කරගෙන යාම අඩු වී ඇති බව නිරීක්ෂණය වන නමුත්, කේරළ ගංජා පරිභෝජනය වැඩි වී ඇති බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, අබිං, කොකේන්, හෙරොයින් හා ගංජා යන මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබාගැනීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම සම්බන්ධයෙන් ලබා දෙනු ලබන දඬුවම් සංශෝධනය කිරීමට, පනතේ තුන්වන උපලේඛනය සංශෝධනය කිරීමට, අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමේ කාලසීමාව සංශෝධනය කිරීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල දායකත්වය ඇතිව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අනුකමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනා සැලකිල්ලට ගෙන, 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ ආඥාපනත සහ 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත සංශෝධනය කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.