• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රෝහල්වල සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශවල වෛද්‍ය සැපයීම් පහසුකම් ශක්තිමත් කිරීම
- රෝහල් සඳහා අවශ්‍ය සියලු ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය, රසායනාගාර ද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය සහ මුද්‍රිත අමුද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් වගකියන ප්‍රධාන කේන්ද්‍රීය ආයතනය වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින වෛද්‍ය සැපයීම් අංශයයි. එබැවින්, ගුණාත්මක වෛද්‍ය සැපයීම් නියමිත වේලාවට රෝගීන් වෙත ලබා දීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, රෝහල්වල ඖෂධ ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්‍රාදේශීය රෝහල් දක්වා වෛද්‍ය සැපයීම් කළමනාකරණ තොරතුරු පද්ධතිය ව්‍යාප්ත කිරීම යන ව්‍යාපෘති දෙක (02) ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, රුපියල් මිලියන 712ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, රෝහල් 134ක හා ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශ 26ක ඖෂධ ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, රුපියල් මිලියන 954ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ප්‍රාදේශීය රෝහල් මට්ටම දක්වා වෛද්‍ය සැපයීම් කළමනාකරණ තොරතුරු පද්ධතිය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.