• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 සුරැකුම්පත් හුවමාරු පනත් කෙටුම්පත
- වර්තමානයේ ප්‍රාග්ධන වෙළඳ පොළ මුහුණ දෙන අභියෝගවලට ගැළපෙන පරිදි 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මැලේසියාව, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීති සංකල්ප සහ අත් දැකීම් සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද සංකල්ප කෙටුම්පත, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පදනම් කරගනිමින් තවදුරටත් සංශෝධනය කරනු ලැබ තිබේ.

ඒ අනුව, මනාව නියාමනයට ලක්වූ විධිමත් කොටස් වෙළඳ පොළක් ලෙස දේශීය හා විදේශීය ආයෝජිකයින්ගේ විශ්වාසය දිනාගැනීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රාග්ධන උත්පාදන විකල්පයක් ලෙස ප්‍රාග්ධන වෙළඳ පොළ වඩාත් ආකර්ෂණීය කිරීම අරමුණු කරගනිමින්, එම සංකල්ප කෙටුම්පත පාදක කරගෙන 'සුරැකුම්පත් හුවමාරු පනත' නමින් නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.