• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිළිඳුකම පිටුදැකීම සඳහා 'ග්‍රාම ශක්ති' වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- පසුගිය කාලය මුළුල්ලේ ක්‍රියාත්මක කරන ලද විවිධ සමාජ ආරක්ෂණ වැඩසටහන්වල ප්‍රතිඵලයක් වශයෙන්, 1990 වසරේදී 26.1%ක්ව පැවති ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම 2011 වර්ෂය වන විට 6.7%ක් දක්වා අඩු කරගැනීමට හැකි වී ඇත. 2017 වර්ෂය, 'ශ්‍රී ලංකාව දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය' වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අතර, ඒ අනුව ප්‍රාදේශීය මට්ටමෙන් තවදුරටත් පවතින දරිද්‍රතාව පිටුදැකීම සඳහා පියවර ගැනීමට සැලසුම් කරනු ලැබ ඇත.

මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත 'ග්‍රාම ශක්ති' වැඩසටහන යට‍ෙත්, 2017 වසරේදී, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් 10% සිට 45% දක්වා දරිද්‍රතා මට්ටමක් පෙන්නුම් කරනු ලබන ග්‍රාම නිලධාරි වසම් 700ක් තෝරාගෙන, එකී වසම්වල වෙසෙන පවුල්වලින් 80%ක් සහභාගි වන මහ සභාවකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයකින් සමන්විත ජනතා සමාගමක් පිහිටුවීමට නියමිතය. එම ජනතා සමාගම්වල නියෝජිතයින් පුහුණු කර ගමේ දිළිඳුකම පිටුදැකීමේ කාර්යයට උර දී‍මට හැකිවන අයුරින් එම ප්‍රජා පාලිත සමාගම් වෙත සංවර්ධන අරමුදල් නිකුත් කෙරෙන අතර, 2017 වසර අවසානයේදී එකී සෑම ගමකම සංවර්ධනයට රුපියල් මිලියනයක් බැගින් ලබා දීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම ප්‍රජා පාලිත ගම්මාන 700ට අමතරව 'නිෂ්පාදන ගම්මාන' ලෙස දියුණු කළ හැකි, දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ග්‍රාම නිලධාරි වසම් 300ක් තෝරාගෙන, අපනයනය සඳහා සුදුසු නිෂ්පාදන හෝ දේශීය අවශ්‍යතා සපුරමින් ආනයනය අඩු කළ හැකි නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය හා මූල්‍ය පහසුකම් සලසා දෙමින් අලුත් රැකියා අවස්ථා බිහි කර ලීමට කටයුතු කරනු ලැබේ. ඒ අනුව, මෙම 'ග්‍රාම ශක්ති' වැඩසටහන, රාජ්‍ය, පෞද්ගලික හා මහජන මැදිහත්වීම සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.