• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඹුල්ල සහ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර ඉදි කිරීම - උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- වෙළඳ පොළ මිල ස්ථායීකරණය සහ පසු අස්වනු හානිය අවම කිරීම මූලික අරමුණු කරගනිමින් ශීතාගාර ස්ථාපිත කිරීම සඳහා 2016 අයවැය යෝජනා යටතේ රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත වෙන් කරන ලදී. ඒ අනුව, රාජ්‍ය, පෞද්ගලික හා විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක ප්‍රතිඵල මත දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හා කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර දෙකක් ස්ථාපිත කිරීම වඩාත් යෝග්‍ය බව තීරණය කරන ලද අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම ව්‍යාපෘති 2017 ඔක්තෝබර් මස වන විට නිම කිරීමට හැකිවන ලෙස එම ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා, ශීතාගාර ස්ථාපිත කිරීමට අදාළ උපදේශක සේවා ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 30.1ක වැට් රහිත මුදලකට, Design Consultant ආයතනය වෙත පිරිනැමීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.