• Increase font size
  • Default font size
  • Decrease font size

2017-03-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර, පොළොන්නරුව හා මඩකළපුව යන දිස්ත්‍රික්ක පදනම් කරගෙන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 241ක් සහ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති 145ක් 2016 වර්ෂය තුළ සාර්ථකව නිම කිරීමට ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය සමත් වී ඇත. ඒ අනුව, ප්‍රාදේශීය දරිද්‍රතා මට්ටම් සැලකිල්ලට ගෙන, මුළු දිවයිනම ආවරණය වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලද ඉහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සුදුසු බව හඳුනාගෙන තිබේ. ඒ යටතේ අදාළ දිස්ත්‍රික්කවල ග්‍රාමීය ප්‍රවේශ මාර්ග සංවර්ධනය, සුළු වාරිමාර්ග නවීකරණය, පානීය ජල යෝජනා ක්‍රම, කුඩා පාලම් හා බෝක්කු ආදී හඳුනාගත් පොදු පහසුකම් සංවර්ධනය කිරීම, තරුණ-තරුණියන් සඳහා ස්වයං රැකියා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව ව්‍යාපෘති සහ සත්ත්ව පාලන, ධීවර හා වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදී කටයුතු සිදු කෙරෙනු ඇත. ඒ අනුව, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා අදාළ රාජ්‍ය ආයතන මඟින් ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන, 2017 වර්ෂයේදී අනුරාධපුර, පොළොන්නරුව හා මඩකළපුව යන දිස්ත්‍රික්කවලට අමතරව මුලතිව්, ගාල්ල, මොනරාගල, රත්නපුර, කළුතර, පුත්තලම හා මාතලේ යන දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.