• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association - IORA) නායක සමුළුවේදී එළඹෙනු ලබන එකඟත‍ා ගිවිසුමට අත්සන් තැබීම
- ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association - IORA) 20 වෙනි සංවත්සර සැමරුමට සමගාමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුවක් 2017 මාර්තු 07 දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය. ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ඇත. මෙම සංවිධානයේ සාමාජික රටවල් අතර උපදේශනය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් එහිදී ඇති කරගැනීමට නියමිත එකඟතා ගිවිසුමට ශ්‍රී ලංකාව විසින් අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය (ආචාර්ය) හර්ෂ ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.