• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදි කිරීම
- යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ජල සම්පත් සංවර්ධනය කිරීම සඳහා මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන මහා පරිමාණ ව්‍යාපෘතිවලින් එකකි. එමඟින් අනුරාධපුරය හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව සඳහා ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. මෙම ජලාශයේ වම් ඉවුරේ ප්‍රධාන ඇළ මඟින්, පදවිය යෝජනා ක්‍රමය හා යාන් ඔය අමුණ යෝජනා ක්‍රමය යටතේ පවතින දැනට විශාල ජල හිඟයකට මුහුණපා සිටින ඉඩම්ද ඇතුළුව හෙක්ටයාර 4,190ක වගා ප්‍රදේශයක් සඳහා ජලය සැපයෙනු ඇත. මුළු දිග කිලෝමීටර 18ක් පමණ වන මෙම වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කෙරෙන ප්‍රදේශයේ පිහිටීම අනුව එය සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් ආස්තරණය කිරීමටත්, කිලෝමීටර 05ක දිගකින් යුත් යටි උමං මාර්ගයක් ඇතුළු සංකීර්ණ නිර්මිත රාශියක් ඉදි කිරීමටත් සිදුවනු ඇත.

එබැවින් එකී වම් ඉවුරු ඇළ ඉහළ ගුණාත්මකභාවයකින් සැලසුම් කර ඉදි කිරීම සඳහා තාක්ෂණය අතින් පිරිපුන් ජාත්‍යන්තර මට්ටමේ කොන්ත්‍රාත්කරුවන්ගේ සහාය ලබාගැනීම සුදුසු බව නිරීක්ෂණය වී ඇති නමුත්, ඒ සඳහා විවෘත ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීම සඳහා ගතවන කාලය සැලකිල්ලට ගැනීමේදී ප්‍රදේශයේ ජනතාවට ජලය සැපයීම අපේක්ෂිත කාලයට වඩා වසරකින් පමණ ප්‍රමාද වනු ඇත. එබැවින්, යාන් ඔය ජලාශය සැලසුම් කර ඉදි කිරීම් කරන ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන China CAMCE Engineering ආයතනයේ සේවය වම් ඉවුරු ඇළ සැලසුම් කර ඉදි කිරීමේ කාර්යය සඳහා ලබාගැනීම තාක්ෂණික හා ආර්ථික වශයෙන් ව‍ඩා ඵලදායී හා ප්‍රායෝගික වනු ඇතැයි නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යාන් ඔය ජලාශයේ වම් ඉවුර ප්‍රධාන ඇළ ඉදි කිරීම සඳහා ඉන්ජිනේරුමය, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් (EPC) කොන්ත්‍රාත් පදනම මත මාස 24ක කාලයක් තුළ සැලසුම් කර ඉදි කිරීම සඳහා China CAMCE Engineering ආයතනය වෙතින් තාක්ෂණික හා මූල්‍යමය යෝජනා කැඳවීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.