• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම
- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වර්තමාන නවීකරණ කටයුතුවලට සමගාමීව ගුවන්යානා ඉන්ධන අවශ්‍යතාව ඉදිරියේදී ඉහළ යනු ඇතැයි තක්සේරු කර ඇති බැවින්, එසේ වැඩිවන ඉල්ලුමට සරිලන ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හැකියාව ලැබෙන පරිදි ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය සඳහාම වෙන් වූ නළ මාර්ගයක් මුතුරාජවෙල තෙල් පර්යන්තයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ස්ථාපිත කිරීම අවශ්‍ය වී ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයක් මඟින් ඝන මීටර 75,000ක සමස්ත මෙහෙයුම් ධාරිතාවකින් යුතු, ගුවන්යානා ඉන්ධන සඳහාම වෙන් වූ වානේ ටැංකි 4ක් ඉදි කිරීමටත්, කිලෝමීටර 23ක දිගකින් යුත් නළ මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ හා සම්බන්ධ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත්, විවෘත ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් මේ සඳහා ලංසු කැඳවීමටත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.