• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන් වෙනුවෙන් වන්දි ලබා දීම
- 2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් සිරකරුවන් 27දෙනෙකු මියගිය අතර, බන්ධනාගාර නිලධාරියෙක් හා සිරකරුවෝ 20දෙනෙක් තුවාල ලැබූහ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණු අතර, එම කමිටුවේ වාර්තාව මේ වන විට භාර දෙනු ලැබ ඇත. එම කමිටු වාර්තාව මඟින් නිර්දේශ කරනු ලැබ ඇත්තේ මියගිය 27දෙනා අතුරින් 16දෙනෙකු වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙසත්, ඉතිරි 11දෙනා බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී මිය‍ ගොස් ඇති නිසා වන්දි ලබා දීම අවශ්‍ය නොවන බවත්, මෙම සිදුවීමෙන් තුවාල ලැබූ බන්ධානාගාර නිලධාරියාට හා සිරකරුවන් 20දෙනාට වන්දි ලබා දෙන ලෙසත්ය. ඒ අනුව, එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2012‑11‑09 දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය රැඳවූවන් 16දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 2,000,000/-ක් බැගින් වන්දි ලබා දීමටත්, එම ගැටුමෙන් තුවාල ලැබූ තැනැත්තන්ට එක් අයෙකුට රුපියල් 500,000/-ක් බැගින් වන්දි ලබා දීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.