• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම
- රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමන්ගේ, ගරු අග්‍රාමාත්‍යතුමාගේ, මුදල් ඇමතිතුමාගේ, අදාළ රාජ්‍ය නිලධාරින්ගේ, ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් 2017‑02‑03 දින පවත්වන ලද රැස්වීමේදී එළඹි පහත සඳහන් තීරණ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය සඳහා ඉදිරිපත් කරන ලදී.

* රජයේ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන පරිදි වර්තමානයේ භාවිත වන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ මුදල් අමාත්‍යාංශය මඟින් වරින් වර නිකුත් කරනු ලැබ ඇති අදාළ අනෙකුත් උපදෙස් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මඟින් පියවර ගැනීම;

* අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති, රජයේ ප්‍රසම්පාදන සඳහා අදාළ කරගත යුතු නව කාල රාමු, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයට ඇතුළත් කිරීම;

* රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඉවහල්වන විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement)වැනි නවීන ප්‍රසම්පාදන ප්‍රවණතාවන් පිළිබඳ අවධානය යොමු කර වර්තමාන ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සුදුසු පරිදි සංශෝධනය කිරීම හා යාවත්කාලීන කිරීම;

* රජයේ ඉදි කිරීම් කටයුතුවලදී සැලසුම් නිර්මාණය කිරීම සඳහා වැය වන කාලය සහ මුදල් අවම කරගැනීමේ අරමුණින්, අවශ්‍ය අවස්ථාවන්හිදී සුදුසු සංශෝධන සහිතව පොදු ඉදි කිරීමේ සැලැස්මක් මත කටයුතු කිරීම;

* රජයේ ප්‍රසම්පාදනය පිළිබඳ තාක්ෂණික කුසලතා රජයේ නිලධාරීන්ට ලබා දීමට කටයුතු කිරීම.