• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වතුකර ප්‍රජාව සඳහා නිවාස ඉදි කිරීම - එක් නිවාසයක් සඳහා වෙන් කරන මුදල රු.650,000.00 සිට රු.1,000,000.00 දක්වා වැඩි කිරීම
- කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාශයේ මෙහෙයවීම යටතේ ණය සහ ප්‍රදාන අධාර පදනම මත වැවිලි මානව සංවර්ධන භාරය මඟින් වතු සේවකයන්ගේ නිවාස සමුපකාර සමිති විසින් වතුකරයේ ප්‍රජාව සඳහා නිවාස ඉදි කෙරෙමින් පවතී. නිදන කාමර දෙකකින්, සාලයකින්, ආලින්දයකින්, මුළුතැන්ගෙයකින් හා නිවසට ඈඳුණු වැසිකිළියකින් සමන්විත එම එක් නිවසක් සඳහා 2014 වර්ෂයේදී සකස් කරන ලද ඇස්තමේන්තු අනුව, අමාත්‍යාංශය විසින් වර්තමානයේ වෙන් කරනු ලැබ ඇති මුදල රුපියල් 650,000/-කි. ගොඩනැඟිලි ඉදි කිරීම් ද්‍රව්‍යවල වර්තමාන මිල ගණන් සැලකිල්ලට ගැනීමේදී එම මුදල ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වන අතර, සම්පූර්ණ නිවසක් ඉදි කරගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව ලැබෙන පරිදි එක් නිවසක් සඳහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් 650,000/- සිට රුපියල් 1,000,000/-ක් දක්වා වැඩි කිරීමටත්, එම මුදලින් රුපියල් 480,000/-ක් ආපසු අය නොකෙරෙන, ප්‍රදානයක් ලෙස ලබා දීමටත්, රුපියල් 520,000/-ක ඉතිරි මුදල වසර 15ක් තුළ ප්‍රතිලාභීන්ගෙන් අය කරගත හැකි වන පරිදි ණය මුදලක් ලෙස ලබා දීමටත්, නායයෑම් හේතුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහ නායයාමට ලක්වීමේ අවදානමක් ඇති, සිය නිවාසවලින් ඉවත්වන ලෙස දැනුම් දෙනු ලැබ ඇති පවුල් සඳහා නිවාස ඉදි කරගැනීමට ලබා දෙන මුදල සම්පූර්ණයෙන්ම ප්‍රදානයක් ලෙස ලබා දීමටත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.