• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කම්කරු විනිශ්චය සභා ඉදිරියේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් නියෝජනය කිරීමට සහ පෙනී සිටීමට ඇති අයිතිය පුළුල් කිරීම සඳහා කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම
- කාර්මික ආරවුල් පනතේ විධිවිධාන යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති කම්කරු විනිශ්චය සභාවන්හි වගකීම වනුයේ පිළිගත් යුක්තිසහගත හා සාධාරණ මූලධර්ම යටතේ වේගවත් සහ අඩු වියදම් සහිත යන්ත්‍රණයක් මඟින් කාර්මික ආරවුල් නිරවුල් කිරීමයි. සාමාන්‍ය සේවක ප්‍රජාවන්ට පහසුවෙන් සේවා ලබා ගත හැකි විනිශ්චය සභාවක් වශයෙන් කටයුතු කිරීම මෙමඟින් අපේක්ෂා කරනු ලැබූවද, නීතිඥයින් නොවන නියෝජිතයින්ට පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඉඩ නොදෙමින් ඇතැම් කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් විසින් සිදු කරනු ලැබ ඇති දෝෂ සහගත අර්ථනිරූපණ හේතුවෙන් සාමාන්‍ය සේවා නියුක්තිකයන්ට අගතියක් සිදු වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, නීතිඥයින් නොවන අයට, කම්කරු විනිශ්චය සභා ඉදිරි‍යේ පාර්ශ්වකරුවන් නියෝජනය කිරීමට සහ පෙනී සිටීමට ඉඩ සැලසීමටත්, කම්කරු කොමසාරිස්වරයා හෝ බලයලත් නිලධාරියා ඉදිරියේ පවත්වනු ලබන පරීක්ෂණ කටයුත්තකදී නීතිඥයකු පෙනී සිටීම වළකනු ලබන, දැනට පනතේ පවත්නා විධිවිධාන ඉවත් කිරීමටත්, කම්කරු විනිශ්චය සභාවකින් දෙනු ලබන නියෝගයක් සේවා යෝජකයන් විසින් පිළිනොපදින අවස්ථාවකදී ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනට කම්කරු කොමසාරිස්වරයා සතුව පවතින බලය කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් වෙත ලබා දීමටත් හැකි වන පරිදි කාර්මික ආරවුල් පනතට සුදුසු සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා සහ අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.