• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර තදබදය අවම කිරීම සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා අධිකරණමය සහ නෛතික හේතු හඳුනාගැනීම
- බන්ධනාගාර තදබදයට හේතුවන අධිකරණමය හා නෛතික හේතු හඳුනාගැනීමට සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති අන්තර් ආයතනික කාර්යසාධන බලකායේ පළමු වාර්තාව මඟින් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත.

සිර දඬුවම් ලබා දීම වෙනුවට ප්‍රජා පාදක විශෝධන ක්‍රම ඵලදායී ලෙස උපයෝගි කරගැනීම

දඩ මුදල් ගෙවීමට නොහැකි නිසා සිර දඬුවම් ලබා දීම වෙනුවට අදාළ දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව සලසනු ලබන 1995 අංක 4 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධන) පනතේ විධිවිධාන පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම

මහේස්ත්‍රාත් අධිකරණය වෙත අධිකරණ බලය නොමැති නඩු සම්බන්ධයෙන් නීතිපතිවරයා මඟින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලබන තෙක් එම නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ එකී ක්‍රියාවලිය තුළ අදාළ නඩු ගොනු අස්ථානගත වීම වැළැක්වීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම

චෝදනා ගොනු කිරීමකින් තොරව බන්ධනාගාරගත කරනු ලැබ සිටින්නන් බැඳුම්කරයක් මත මුදා හැරීමට කටයුතු කිරීම සහ පනතේ විධිවිධාන පරිදි මහේස්ත්‍රාත්වරුන් මසකට වරක් බන්ධනාගාර නිරීක්ෂණ චාරිකා කිරීම අධීක්ෂණය කිරීම

1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධාන අනුව ඇප ලබා දිය හැකි වරදවල් සම්බන්ධව පොලිස් ඇප ලබා දීමේ ක්‍රමය යොදාගැනීම

මරණ දඬුවම, ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් දක්වා අඩු කිරීමට ඇති හැකියාව සලකා බැලීම

අලුතින් බන්ධනාගාර ඉදි කිරීම හා ප්‍රතිස්ථානගත කිරීම

බන්ධනාගාරවල රැඳවූවන් හා කාර්යමණ්ඩලය සඳහා ආරක්ෂිත හා සුදුසු පරිසරයක් කිර්මාණය කිරීම

එම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.