• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ආයතනවල කාර්යමණ්ඩල සමාලෝචනය - 2017
- වර්තමානය වන විට සෑම පුරවැසියන් 15 දෙනෙකුටම එක් රාජ්‍ය සේවකයෙකු බැගින් වන සේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය පුළුල් වී තිබුණද, වාර්ෂිකව රජය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන තුළින් අදාළ ඉලක්ක සපුරාගැනීම මන්දගාමීව සිදු වීම හේතුවෙන් රාජ්‍ය සේවය පිළිබඳ මහජන ප්‍රසාදය හීන වී තිබේ. එමෙන්ම, ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල, විශේෂයෙන්ම අධ්‍යාපන හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල රැකියාවල නියුතු රාජ්‍ය නිලධාරින්ගේ හිඟයක් දක්නට ලැබෙන අතර, නාගරික ප්‍රදේශවල හා ඒ ආසන්නයේ පිහිටි ඇතැම් රාජ්‍ය ආයතනයන්හි සේවයේ යොදවනු ලැබ ඇති රාජ්‍ය සේවකයන් ප්‍රමාණය, අනුමත කාර්ය මණ්ඩල අවශ්‍යතාවද ඉක්මවා ගොස් ඇත. එමෙන්ම, ප්‍රාථමික මට්ටමට අයත් කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ හා තෘතීය මට්ටම්වල කාර්ය මණ්ඩලයට සාපේක්ෂව සංඛ්‍යාත්මකව ඉතා ඉහළ අගයක් ගනී.

ඒ අනුව, මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබ ඇති, 01/2017 අංක දරන 2017‑01‑11 දිනැති චක්‍රලේඛය මඟින් ලබා ගැනෙන තොරතුරු මත පදනම්ව, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව හා මුදල් කොමිෂන් සභාව යන ආයතනවල සහභාගිත‍්වය ඇතිව මුදල් අමාත්‍යාංය විසින් රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩල සමාලෝචනයන් සිදු කරනු ලබන බවටත්, එ අනුව රාජ්‍ය අංශයේ හා පළාත් සභාවන්හි කාර්යමණ්ඩල අවශ්‍යතාව නිගමනය කරනු ලබන බවටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.