• Increase font size
  • Default font size
  • Decrease font size

2017-02-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ රෝහල්වල කිළිටි රෙදි සේදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේදී, රෝගීන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුවේ. එහිදී රෝගීන්ගේ කිළිටි රෙදි, ඇඳ ඇතිරිලි, ශල්‍ය කර්මවලට භාජනය කරනු ලබන රෝගීන්ගේ ඇඳුම් සහ ශල්‍යාගාර කාර්ය මණ්ඩලය විසින් භාවිත කරනු ලබන ඇඳුම් යනාදිය වර්ග කොට, ජීවානුහරණය කරමින් නියමිත පරිදි සෝදා වේලා ගැනීම අනිවාර්ය වේ. රෝහල්වල කිළිටි රෙදි සේදීම වර්තමානයේ බොහෝ දුරට පෞද්ගලික පාර්ශ්වයන් මඟින් සිදු කර ගනු ලබන අතර, එම ක්‍රියාවලිය එතරම් සතුටුදායක මට්ටමක නොපවතින බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව, බස්නාහිර පළාත තුළ පිහිටි රෝහල්වල කිළිටි රෙදි සේදීමේ කාර්යය සිදු කිරීම සඳහා යන්ත්‍රාගාරයක් ඉදි කර, පවත්වාගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.