• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උඩරට කලාපයේ කුඩා තේ වතුහිමියන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම
- ශ්‍රී ලංකාවේ මුළු තේ ඉඩම් ප්‍රමාණයෙන් 73%ක් පමණ කුඩා තේ වතු හිමියන් සතු වන අතර, සමස්ත කුඩා තේ වතු ප්‍රමාණයෙන් 17%ක් උඩරට ප්‍රදේශය පුරා පැතිර තිබේ. උඩරට ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් විසින් මුහුණ දෙනු ලබන සමාජීය හා ආර්ථික ගැටලුවල‍ට විසඳුම් ලබා දීමේදී තේ දලු පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි වන පරිදි ග්‍රාමීය ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය කිරීමත්, ඔවුන්ගේ ආදායම ස්ථාවර මට්ටමක තබාගැනීම සඳහා තේ වගාව හා බැඳුණු ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් විශේෂයෙන් වැදගත් වේ. ඒ අනුව, නුවරඑළිය, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කයන්හි පිහිටි කුඩා තේ වතු ආශ්‍රිත ග්‍රාමීය ප්‍රවේශ මාර්ග 200ක් ගමනාගමනයට යෝග්‍ය වන පරිදි පුනරුත්ථාපනය කිරීමටත්, එළවළු, පලතුරු සහ මල් වර්ග වගා කර අමතර ආදායමක් ලබාගත හැකි වන පරිදි කුඩා තේ වතු ආශ්‍රිතව හරිතාගාර නියමු ව්‍යාපෘතියක් හා කුඩා තේ වතු අමතර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.