• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය ලොකු ළූණු නිෂ්පාදනයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ගුණාත්මක බීජ ආනයනය කිරීම
- මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය ලොකු ළූණු අවශ්‍යතාවෙන් 65% -70% අතර ප්‍රමාණයක් දැනට වාර්ෂිකව ආනයනය කරනු ලැ‍ෙබ්. එබැවින් දේශීය ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන (2016 -2018) යටතේ ප්‍රමුඛතාව ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සඳහා ඒකක බිම් ප්‍රමාණයකින් ලබාගනු ලබන අස්වනු ප්‍රමාණය වැ‍ඩි කිරීමත්, වැඩි ඵලදායීතාවකින් යුතු බීජ භාවිතය ප්‍රචලිත කිරීමත් සිදු කළ යුතුව තිබේ. මෙරට ලොකු ළූණු බීජ වාර්ෂික අවශ්‍යතාව කිලෝග්‍රෑම් 40,000ක් පමණ වන නමුත්, දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන් අඩක් පමණි. ඉතිරි ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින් මෙරටට ආනයනය කරනු ලබන නමුත්, එම ආනයනික ලොකු ළූණු බීජවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු වාර්තා වී තිබේ. ඒ අනුව, උසස් තත්ත්වයේ බීජ කිලෝග්‍රෑම් 6,200ක් ඉන්දියානු රජයේ පර්යේෂණ ආයතනයක් වන 'ජාතික උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන පදනම' (National Horticultural Research and Development Foundation) වෙතින් ආනයනය කිරීම මඟින් ලොකු ළූණු බීජ දේශීය අවශ්‍යතාව සපුරා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.