• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ, ශ්‍රී ලංකාව විසින් යුක්‍රේනය සහ ඩෙන්මාර්කය සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
- ප්‍රවීණතා සහතිකයක් සහිත නාවිකයකුට විදේශීය ධජයක් යටතේ ලියාපදිංචි කර ඇති නෞකාවක සේවය කිරීම සඳහා එම ප්‍රවීණතා සහතිකයට (Certificate of Competency) අමතරව අදාළ නෞකාව ලියාපදිංචි කර ඇති රාජ්‍යය විසින් නිකුත් කරනු ලබන ඊට සමාන තත්ත්වයේ සහතිකයක් (Certificate of Recognition) ලබාගැනීම අවශ්‍ය වේ. එවැනි සමාන තත්ත්වයේ සහතික නිකුත් කිරීම සඳහා අදාළ රාජ්‍යයන් අතර සම්මුතියක් හෝ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගෙන තිබිය යුතු අතර, දැනටමත් ශ්‍රී ලංකාව විදෙස් රටවල් 30ක් සමඟ එවැනි ගිවිසුම් ඇති කර ගෙන ඇත. මෙවැනි ගිවිසුම්වලට එළඹීම මඟින් ප්‍රවීණතා සහතික ලත් ශ්‍රී ලාංකික නාවිකයින් විශාල ප්‍රමාණයකට විදේශ නෞකාවල සේවය කිරීමේ රැකියා අවස්ථා විවර වේ. මෙම සහතිකපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමකට එළඹීමට යුක්‍රේන රජය සහ ඩෙන්මාර්ක රජය කැමැත්ත පළ කර ඇති අතර, ඒ අනුව යුක්‍රේනය සහ ඩෙන්මාර්කය සමඟ සමුද්‍රීය ප්‍රවීණතා සහතිකපත් පිළිගැනීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.