• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීම
- නීරෝගී පුද්ගලයෙකු විසින් ස්වකැමැත්තෙන් පරිත්‍යාග කරනු ලබන අවයවයක් එම අවයවය හානිවූ පුද්ගලයෙකුගේ ශරීරයට සාර්ථකව බද්ධ කිරීම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ප්‍රචලිත වෙමින් පවතී. ජීවතුන් අතර සිටින අයට මෙන්ම මොළය මිය ගිය හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වී මිය ගිය පුද්ගලයින්ටද කළින් කැමැත්ත ප්‍රකාශ කර තිබුණහොත් සිය අවයව ප්‍රදානය කළ හැකිය. මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන රියැදුරන්ගේ අවයව සහ පටක, අත්‍යවශ්‍ය රෝගීන්ට බද්ධ කිරීම සඳහා හැකියාව ලබා දෙමින්, සිය අවයව හා පටක පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත ලබා දීමට රියැදුරන්ට හැකි වන පරිදි කැමැත්ත ප්‍රකාශ කරන ප්‍රකාශයක් ඇතුළත් කර රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ හා අලුත් කිරීමේ අයදුම්පත්‍ර සං‍ශෝධනය කිරීමටත්, එසේ ලබා දෙන ලද කැමැත්ත නිරූපනය වන පරිදි දැනට පවතින රියැදුරු බලපත්‍රය සංශෝධනය කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.