• Increase font size
  • Default font size
  • Decrease font size

2017-01-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා, රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා රජ‍ෙය් රෝහල් මඟින් ලබා දීමේදී රෝග විනිශ්චය කිරීම, රෝග සඳහා ප්‍රතිකාර කිරීම සහ ප්‍රතිඵල ඇගයීම, පරිපාලන තීරණ ගැනීම, සැලසුම් කිරීම හා අධීක්ෂණය යන කාර්යයන් නිසි පරිදි සිදු කළ යුතු වේ. ඒ සඳහා නිවැරදි, විශ්වසනීය හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි, පිරිවැය සඵලදායී තොරතුරු පද්ධතියක් තිබීම වඩාත් හොඳින් සෞඛ්‍ය සේවාවන් සැපයීමට මනා පිටිවහලක් වේ. ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය තොරතුරු පද්ධතිය ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් ලබාගන්නා තොරතුරුවලින් සමන්විත වන අතර, ඉදිරියේදී සෞඛ්‍ය සේවා සපයනු ලබන පෞද්ගලික අංශයේ ආයතන සතු දත්ත බොහොමයක් එම තොරතුරු පද්ධතියට එක් කෙරෙනු ඇත. එමෙන්ම ලේඛන මත පදනම් වූ (Paper based) දත්ත ලබාගැනීමේ හා හුවමාරු කර ගැනීමේ ක්‍රමය, නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) ක්‍රමවේද යොදාගනිමින් වැඩිදියුණු කළ යුතුව තිබේ. ඒ අනුව, ජාතික සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තියේ අභිප්‍රායන් හා අනුකූල වන පරිදි සකස් කරනු ලැබ ඇති 'සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය', සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එම ප්‍රතිපත්තිය අනුමත කරන ලදී.