• Increase font size
  • Default font size
  • Decrease font size

2016-12-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්යබල උද්‍යානයක් ඉදි කිරීම
- වර්තමානය වන විට පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් විදුලිය නිෂ්පාදනය කිරීම ‍කෙරෙහි සුවිශේෂ අවධානයක් ලොව පුරා යොමු වෙමින් පවතියි. මෙහිදී සූර්ය බලශක්තිය කෙරෙහි වැඩි ප්‍රමුඛතාවයක් හිමි වී තිබේ. මෙගාවොට් 11.3ක පමණ සූර්ය විදුලි බලාගාර දැනට ශ්‍රී ලංකාවේ මධ්‍යම විදුලි ජාලයට සම්බන්ධ කරනු ලැබ තිබෙන අතර, ශුද්ධ මනුකරණ ක්‍රමවේදය (Net Metering) යටතේ මොගාවොට් 30කට ආසන්න විදුලි ජනනයක් සිදු වේ. ශ්‍රී ලංකාවේ සූර්ය බල විදුලි ජනනය තවදුරටත් වැඩි කිරීමේ අරමුණින් මේ වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, මොගාවොට් 100 බැගින් වන සූර්ය බල උද්‍යාන (Solar Parks) 03ක් අලුතින් ඇති කිරීමට ද සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, එහි පළමු පියවර වශයෙන් මොනරාගල, සියඹලාන්ඩුව ප්‍රදේශයේ මොගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බල උද්‍යානයක් ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.