• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංඛ්‍යාංක (ඩිජිටල්) සෞඛ්‍ය නවෝත්පාදන සහ වාණිජ්‍යකරණ ආයතනය (Sri Lanka Institute of Digital Health Innovation & Commercialization) ස්ථාපනය කිරීම
- ජාන විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙහි එක්වීම 'සංඛ්‍යාංක සෞඛ්‍ය' (Digital Health) ලෙස හඳුන්වනු ලබන අතර, මහජනතාව වෙත උසස් තත්ත්වයේ සේවා සැපයීමට හැකි වීම, ඉහළ ප්‍රතිඵල අත් කර දීම සහ අඩු පිරිවැය යනාදිය හේතුවෙන් එය සෞඛ්‍යාරක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදු කරමින් සිටියි. සංඛ්‍යාංක සෞඛ්‍ය අංශයේ සිදු කරන ලද ගෝලීය ආයෝජන ප්‍රමාණය පසුගිය කාල වකවානුව තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය සෞඛ්‍යාරක්ෂණ සංඛ්‍යාංක නවෝත්පාදන මත රඳා පවතිනු ඇත. මෙම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවට උපරිම වාසි අත් කරගැනීමේ අරමුණින්, නවීන සංඛ්‍යාංක හා ජාන තාක්ෂණයන් භාවිතයෙන් උසස් තත්ත්වයේ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා ලොව පිළිගත් වාණිජ සහ පර්යේෂණ සංවිධාන සමඟ සහයෝගිතාව ගොඩනඟා ගත හැකි වන පරිදි 'ශ්‍රී ලංකා සංඛ්‍යාංක සෞඛ්‍ය නවෝත්පාදන සහ වාණිජ්‍යකරණ ආයතනය' රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතාවක් වශයෙන් ස්ථාපනය කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.