• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වලංගු මගී සේවා අවසර පත්‍ර නොමැතිව බස් රථ ධාවනය කරනු ලබන්නන්ට එරෙහිව නියම කරනු ලබන දඩ මුදල ඉහළ නැංවීම
- මගී බස්රථ සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත්, මගීන් මුහුණ දෙනු ලබන අන්තරායදායක තත්ත්වයන්ගෙන් ඔවුන් මුදාගැනීම සඳහාත්, නිසි අවසරයක් නොමැතිව මගී බස්රථ ධාවනය කරනු ලබන්නන්ට එරෙහිව දැන‍ට පවතින නීති දැඩි කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද වලංගු මගී සේවා අවසර පත්‍ර නොමැතිව බස්රථ ධාවනය කරනු ලබන්නන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් දැනට නියම කරනු ලබන අවම දඩ මුදල, රුපියල් 10,000/- සිට රුපියල් 200,000/- දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා විධිවිධාන සලසමින්, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 40 වගන්තිය සංශෝධනය කිරීම සඳහා පිළියෙල කරනු ලැබ ඇති 'ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත' අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.