• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවල නිල නාම යෝජනා නැවත කැඳවීම සඳහා නීති සම්පාදනය කිරීම
- මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවල පළාත් පාලන ඡන්ද විමසීම 2011-03-17 දින පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, විවිධ හේතු නිසා එම ඡන්ද විමසීම වරින් වර කල් දැමීමට සිදු විය. ඡන්ද විමසීම කල් දැමූවද, ඒ සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති නාම යෝජනා මේ වන විටත් වලංගුව පවතී. එසේ නාම යෝජනා භාර දුන් තැනැත්තන් මිය යාම, වයස අවුරුදු 35ට අඩු කාණ්ඩය යටතේ ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වයස අවුරුදු 35 ඉක්මවා යාම වැනි විවිධ කරුණු හේතුවෙන් මෙම නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැඳවීමේ අවශ්‍යතාව උද්ගතව තිබේ. එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ විධිවිධාන අනුව ඉහත පළාත් පාලන ආයතන දෙක සඳහා වන ඡන්ද විමසීම පෙර පැවති සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය යුතු වේ. එහෙත්, දැනට සිදු කෙරෙමින් පවතින පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බැවින්, මෙම පළාත් පාලන ආයතන දෙක සඳහා වන ඡන්ද විමසීමද කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර ක්‍රමය යටතේ පැවැත්වීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, ඉහත ප්‍රාදේශීය සභා දෙක සඳහා දැනට කඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවීමටත්, අලුතින් නාම යෝජනා කැඳවා ඡන්ද විමසීම පැවැත්වීමටත්, කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමය යටතේ එම ඡන්ද විමසීම පැවැත්වීමටත් හැකි වන පරිදි විධිවිධාන සලසමින් නීති කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස පළාත් සභා හා පළාත් පාලන ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.