• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හිංසනයෙහි වින්දිතයන් බවට පත්වන කාන්තාවන් සඳහා තාවකාලික රැකවරණය ආරක්ෂිතව ලබා දීම පිළිබඳ මාර්ගෝපදේශ
- ඇතැම් කාන්තාවන් විසින් මුහුණ දෙනු ලබන ගෘහස්ථ හිංසනයට ලක්වීම, දූෂණයට ලක්වීම, ලිංගික ජාවාරමෙහි ගොදුරු බවට පත්වීම වැනි ගැටලු සඳහා අවශ්‍ය නෛතික සහාය, උපදේශනය, වෛද්‍ය සේවා ලබා දීමට අමතරව වින්දිත කාන්තාවන් හට සහන සලසන තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද වර්තමානය වන විට උද්ගත වී තිබේ. හිංසනයේ වින්දිතයන් බවට පත් වූ කාන්තාවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඇති කරන ලද පළමු රැකවරණ මධ්‍යස්ථානය 2012 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, ඉන් අනතුරුව එවැනි රැකවරණ මධ්‍යස්ථාන කිහිපයක් පළාත් මට්ටමින් ස්ථාපනය කරනු ලැබ තිබේ. එමෙන්ම රජයේ රෝහල්, පොලීසි සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව පෞද්ගලික ස්ථානවලද මෙවැනි රැකවරණ මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලැබේ. විවිධ හේතු නිසා වින්දිතයන් බවට පත් වන කාන්තාවන් උදෙසා තාවකාලික රැකවරණ සලසනු ලබන නිවාස පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එකී මාර්ගෝපදේශ සඳහා අනුමැතිය ලබා දෙන ලදී.