• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍ය/කායික වෛද්‍ය ඒකක වැඩිදියුණු කිරීම
- ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම රෝහල වන කරාපිටිය ශික්ෂණ රෝහල මඟින් දකුණු පළාතේ මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් මෙන්ම යාබද අනෙකුත් පළාත්වලින් පැමිණෙන රෝගීන් හටද සෞඛ්‍ය සේවාවන් සපයනු ලබයි. මෙම රෝහල, මුළු ඇඳන් 1,838ක් වාට්ටු 60කින් සමන්විත වන අතර, එහි ක්‍රියාත්මක විශේෂඥ සේවා ඒකක ගණන 24කි. මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව මෙන්ම එමඟින් සිදු කරනු ලබන ශල්‍යකර්ම ප්‍රමාණයද පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. රෝහලේ සමස්ත ඇඳන් සංඛ්‍යාව 300කින් ඉහළ නැංවීමට හා සතියකට අමතර ශල්‍යකර්ම 130ක් සිදු කිරීමට හැකි වන පරිදි විකලාංග වාට්ටුවක් (Orthopaedic Ward), ප්ලාස්ටික් ශල්‍ය සහ පිළිස්සුම් ඒකකයක්, කණ-නාසය-උගුර (ENT) පිළිබඳ ඒකක 02ක්, ආමාශ-අතුණුබහන් (Gastro-Enterology) හා ජනනේන්ද්‍ර-මෞත්‍රික(Genito-Urology) ශල්‍ය ඒකකයක්, රක්තවාතවේද (Rheumatology) ඒකකයක්, කාච-දෘෂ්ටිවිතාන (Vitreo-Retinal) ශල්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම සහ ළමා හෘද රෝග, වකුගඩු සහ අක්ෂි රෝග සඳහාද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් මහල් දහයකින් යුත් නව ගෙඩනැඟිල්ලක් රුපියල් මිලියන 1,401.7ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.