• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම
- ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඖෂධ, විශාල ප්‍රමාණවලින් සහ අවම මිල ගණන් යටතේ කෙටි කාල සීමාවක් තුළ රටේ සියලුම රෝහල් වෙත සැපයීම සඳහාත්, සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීම සඳහාත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, එම සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් හා නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාර ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් ජපන් යෙන් මිලියන 1,244ක ණය පහසුකමක් ද සලසනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එම ව්‍යාපෘතියට අදාළ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.