• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හබරාදූව 'නිල සෙවණ' නිවාස යෝජනා ක්‍රමය නවීකරණය කිරීම
- විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සේවකයන් වෙත විශේෂ අවධානයක් යොමු කරමින්, සාධාරණ මිලකට නිවාස සැපයීමේ අදහස ඇතිව, 'නිල සෙවණ' නිවාස ව්‍යාපෘතිය 2003 වර්ෂයේදී ආරම්භ කෙරිණි. මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ නිවාස ඒකක 576හි ඉදි කිරීම් කටයුතු 2011 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක නොවන අතර, එම නිවාස ඒකක පිහිටි අක්කර 13ක භූමි භාගය හා ගොඩනැඟිලි 09 ජරාවාස තත්ත්වයකට පත්ව ඇත. එබැවින්, එම නිවාස ඒකක හා ඒවා පිහිටි පරිශ්‍රය සියලු නවීන පොදු පහසුකම්වලින් සමන්විත වන පරිදි සහ එහි වටිනාකම ඉහළ යන පරිදි නවීකරණය කර නේවාසික කටයුතු සහ සංචාරක කටයුතු සඳහා වන මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතියේ නිවාස ඒකකවලින් යම් නිශ්චිත ප්‍රමාණයක් සහන මිලට රාජ්‍ය සේවකයන් වෙත වෙන් කිරීමටත්, ඉතිරිය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් සපුරා ලීම සඳහා යෙදවීමටත් හැකි වන පරිදි, මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම සඳහා පරිපූරක/අතුරු ගිවිසුමක් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ව්‍යාපෘති සමාගම අතර අත්සන් තැබීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.