• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කිරීම
- 2017 වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සමගාමීව පිළියන්දල සමරකෝන් බූදලයට අයත් කහපොළ රෙජිඩේල්වත්ත ඉඩමේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව බුදුරජාණන්වහන්සේගේ උත්පත්තිය සිදුවූ, එවකට පැවති ශාක්‍ය ජනපදය එම ඉඩම තුළ ප්‍රතිනිර්මාණය කර ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා දීමටත්, අංග සම්පූර්ණ බෞද්ධ පුස්තකාලයක්, බෞද්ධ භාවනා මධ්‍යස්ථානයක්, ඩිජිටල් තාක්ෂණය මඟින් බුද්ධ චරිතය හා සම්බන්ධ කතාවස්තු ප්‍රතිනිර්මාණය කිරීමේ හා ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානයක්, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ධර්ම දේශනා පැවැත්වීම පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්, නිර්මාංශ භෝජනාගාරයක්, ගිහි - පැවිදි නරඹන්නන් සඳහා විවේකාගාර යනාදී අංග ගොඩනැඟීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ලාභ නොලබන පුණ්‍යායතනයක් වන ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන්’ ආයතනය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධශාසන අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.