• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය උදෙසා නිෂ්පාදකයාගේ/ වෙළෙන්දාගේ හා පාරිභෝගිකයන්ගේ වගකීම
- කෙතරම් නීතීන් හා දැනුවත් කිරීම් පැවතියද නිෂ්පාදකයින්, වෙළෙන්ඳන් හා පාරිභෝගිකයින් විසින් කිසිම වගකීමකින් තොරව ස්වාභාවිකව දිරාපත් නොවන විවිධ වර්ගයේ හා ප්‍රමාණයේ ඇසුරුම්ද, ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් අපද්‍රව්‍යද පරිසරයට බැහැර කරනු ලබයි. දැනට වාර්ෂිකව රට තුළට පැමිණෙන සමස්ත පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 60%ක් පමණ (මෙට්‍රික් ටොන් 210,000) ස්වාභාවික පරිසරයට එකතු වේ. මෙයට විසඳුමක් වශයෙන් 'පරිසරය දූෂණය කරන්නා විසින් ඊට වන්දි ගෙවිය යුතුයි' (Polluter Pays Principle) යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් යෝජනා වී ඇත. මේ යටතේ, භාණ්ඩ මිල දී ගනු ලබන අවස්ථාවේදී කිසියම් තැන්පත් මුදලක් නිෂ්පාදකයින්/වෙළෙන්දන් විසින් තාවකාලිකව පාරිභෝගිකයාගෙන් අය කිරීමටත්, භාණ්ඩය භාවිතයෙන් පසු ඉතිරි වන ස්වාභාවිකව දිරාපත් නොවන ඇසුරුම් හා අපද්‍රව්‍ය නැවත භාර ගැනීමේදී එම ලබාගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම සිදු කෙරේ. දිගුකාලීනව භාවිත කරනු ලබන ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපකරණ වෙනුවෙන් කරනු ලබන තැන්පත් සඳහා ඒ මත ගණනය කරනු ලබන වාර්ෂික පොලියක් පාරිභෝගිකයා වෙත ගෙවනු ලැබේ. මෙමඟින් අපද්‍රව්‍ය නිශ්චිත ස්ථානවලට එකතු වීම තහවුරු කර ලීමෙන් එම අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස කළමනාකරණය කිරීම පහසු වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමෙහි ලා නිෂ්පාදකයාගේ / වෙළෙන්දාගේ හා පාරිභෝගිකයන්ගේ වගකීම තහවුරු කරමින්, ඉහත සඳහන් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජිතයින්‍ ගෙන් සමන්විත නිලධාරි කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවේ නිර්දේශ අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.