• Increase font size
  • Default font size
  • Decrease font size

2016-11-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාවික අනතුරු හේතුවෙන් සිදු විය හැකි සාගරයට ඉන්ධන කාන්දුවීම් සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ වන්දි ලබා ගැනීම
- සමුද්‍රය හරහා සිදු කෙරන භාණ්ඩ ප්‍රවාහනය ඉහළ යාමත් සමඟ නෞකා අනතුරට පත් වීමෙන් නැව් තුළ ඉන්ධන ලෙස රැගෙන යනු ලබන තෙල් (බංකර් තෙල්) විසිරීම නිසා ආපදාවට ලක්වන පාර්ශ්වයන්ට ප්‍රමාණවත් හා ඉක්මන් වන්දි ලබා ගැනීම සහ සමුද්‍රය ආශ්‍රිත කාර්මාන්තවලට එමඟින් සිදු විය හැකි හානි අවම කරගැනීම සඳහා 2008 වසරේ සිට බලාත්මක කරනු ලැබ ඇති බංකර් තෙල් ආපදා මඟින් සිදුවන හානි සඳහා සිවිල් වගවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Convention on Civil Liability for Bunker Oil Pollution Damage) සඳහා රාජ්‍යයන් 80ක් දැනට පාර්ශ්වකරුවන් වී තිබේ. ශ්‍රී ලංකාවේ වරායන් වෙත වසරකට නැව් 5,000ක් පමණ පැමිණෙන බැවින් හා ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය හරහා වැටී ඇති නෞකා මාර්ගය ඔස්සේ දිනකට විශාල නැව් සංඛ්‍යාවක් ගමන් කරනු ලබන බැවින්, ශ්‍රී ලංකා සාගර කලාපය තුළ හදිසි බංකර් තෙල් විසුරුම් ඇති වීමේ අවදානම ඉතා ඉහළ වේ. එවැනි අවස්ථාවක බලපෑමට ලක්වන ධීවර, සංචාරක හා සාගරය ආශ්‍රිත අනෙකුත් කර්මාන්තවලට සිදුවන හානි අවම කරගැනීම සහ හානි සිදුවූ අවස්ථාවලදී කඩිනමින් වන්දි මුදල් ලබා ගැනීම සඳහා මෙම සම්මුතියට එළඹීම යෝග්‍ය වේ. ඒ අනුව, බංකර් තෙල් ආපදා මඟින් සිදුවන හානි සඳහා සිවිල් වගවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිගැනීමටත්, ඒ සඳහා අදාළ විධිවිධාන සැලසීම පිණිස 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.