• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු රජය මඟින් යාපනය දිස්ත්‍රික්කයේ වැසි ජල ටැංකි 3,000ක් ඉදි කිරීම
- සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය පිළිබඳ විශාල ගැටලුවක් යාපනය අර්ධද්වීපය පුරා පවතින අතර, ඊට විසඳුමක් ලෙස තිරසර පිරිසිදු පානීය ජල මූලාශ්‍රයක් එම ජනතාව වෙත සලසා දීම ඉලක්ක කරගත් ව්‍යාපෘති යෝජනාවක් ජාතික සමඟිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) විසින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. එම යෝජනාව සැලකිල්ලට ගෙන, යාපනය දිස්ත්‍රික්කය තුළ වැසි ජලය එක්රැස් කිරීමේ ටැංකි 3,000ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට එම මහ කොමසාරිස් කාර්යාලය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.