• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලශක්ති නිෂ්පාදනයේදී සහ භාවිතයේදී විමෝචනය වන හරිතාගාර වායු අවම කිරීම සඳහා ජාතික වශයෙන් යෝග්‍ය ක්‍රියාමාර්ග සඳහා වන ව්‍යාපෘතිය
- ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඊළඟ ශතවර්ෂය තුළ සෙල්සියස් අංශක 2ට අඩු මට්ටමක තබාගැනීම සඳහා ලෝක නායකයින් විසින් 2015 වර්ෂයේදී එළඹෙන ලද පැරිස් ගිවිසුම මඟින් එකඟ වී ඇත. හරිතාගාර වායු මුදා හරිනු ලබන ප්‍රධාන රටවල් වන චීනය (20.08%), ඇමරිකා එක්සත් ජනපදය (17.89%), රුසියාව/ඉන්දියාව/ජපානය/කැනඩාව(සාමූහිකව 17.34%) වැනි රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාව විසින් මුදා හරිනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් 0.05% පමණක් වේ. කෙසේ වෙතත් 2030 වර්ෂය වන විට මුදා හරිනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය 2010 වසරේදී මුදා හරින ලද ප්‍රමාණයෙන් 20%ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටී. ඒ අනුව ගෝලීය පරිසර පහසුකම පිළිබඳ ආයතනය (GEF), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), පෞද්ගලික අංශය හා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ඇතිව, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීමේ හා වාර්තා කිරීමේ රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.