• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැදිරිගිරිය ආයුර්වේද රෝහල් ගොඩනැඟිලි ඉදි කිරීම
- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මැදිරිගිරිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාල‍ාවෙන් දෛනිකව රෝගීහු 90ක් පමණ ප්‍රතිකාර ලබා ගනිති. එම ප්‍රදේශයේ ව්‍යාප්තව පවතින නිදන්ගත වකුගඩු රෝගය සඳහා මෙන්ම වෙනත් බෝ නොවන රෝග සඳහාද දිගු කාලයක් අඛණ්ඩව ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව, මැදිරිගිරිය සහ ඒ අවට පිහිටි හිඟුරක්ගොඩ, ලංකාපුර හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට නේවාසික ආයුර්වේද වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට හැකි වන පරිදි, මැදිරිගිරිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ආයුර්වේද රෝහලක් වශයෙන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි රුපියල් මිලියන 37ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.