• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන කාලසීමාව තුළ කොළඹ ක්‍රියාදාමය සහ අබුඩාබි සංවාදය සඳහා ලේකම් කාර්යාලයක් සහ උපදේශක කමිටුවක් ස්ථාපිත කිරීම
- ආසියානු රටවල් සඳහා ගිවිසුම්ගත ශ්‍රමය පිළිබඳ කලාපීය උපදේශන ක්‍රියාවලියක් ලෙස 2003 වර්ෂයේදී 'කොළඹ ක්‍රියාදාමය' (Colombo Process) ස්ථාපිත කෙරිණි. එමෙන්ම ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාදාමයෙහි නියුක්ත පාර්ශ්වකරුවන් විසින් ගිවිසුම්ගත තාවකාලික ශ්‍රමය යොදාගැනීමට අදාළ ජාතික නීති සහ ‍රෙගුලාසි පිළිබඳ අවශ්‍යතා සමඟ අනුකූල වීම බලාත්මක කිරීම සම්බන්ධයෙන් සාමාජික රාජ්‍යයන්හි ඒකාබද්ධ වගකීම පිළිගැනීමේ අරමුණ සහිතව 2008 වර්ෂයේදී 'අබුඩාබි සංවාදය'(Abu Dhabi Dialogue)ද ස්ථාපිත කෙරිණි. විගමනික සේවකයන්ගේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම හඳුනාගනිමින්, වසර ‍දෙකක කාලයක් සඳහා අබුඩාබි සංවාදයේ මීළඟ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකාව ඒකමතිකව තෝරා ගෙන තිබේ. ඒ අනුව, එකී ජාත්‍යන්තර සංසදයන්හි කාර්යභාරය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින්, ශ්‍රී ලංකාව විසින් අබුඩාබි සංවාදයේ සභාපතිත්වය දරනු ලබන කාලසීමාව තුළ කොළඹ ක්‍රියාදාමය සහ අබුඩාබි සංවාදය සඳහා ලේකම් කාර්යාලයක් හා උපදේශක කමිටුවක් ස්ථාපිත කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.