• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුප්පත්කම දුරුකරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහන
- 2017 වර්ෂය, 'දිළිඳුකමින් නිදහස් කරගැනීමේ වර්ෂය' ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. යම් පුද්ගලයෙකුගේ හෝ යම් පවුලක දිළිඳු බව, ඒ අය ලබන්නා වූ අවම ආදායම තුළින්ම පමණක් නිරූපණය නොවන අතර, දිළිඳු බව සමාජය වෙත පෙන්නුම් ‍කෙරෙන ප්‍රමුඛතම ඒකකයක් ලෙස අදාළ අය ජීවත්වන 'නිවස' සැලකිය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දත්ත හා තොරතුරු අනුව 'අන්ත දිළිඳු ප්‍රජාව' ලෙස හඳුනාගනු ලබන 165,000ක් ජීවත් වනුයේ පැල්පත්, මුඩුක්කු පේළි ගෙවල් හෝ ලැයින් කාමර තුළය. එමෙන්ම දිළිඳු ජනගහනයෙන් 63%ක්, වර්ග අඩි 400කටත් අඩු නිවාසවල ජීවත්වන අතර, 10%ක් වැසිකිළි පහසුකම් නොමැතිවද, වැඩි පිරිසක් විදුලි ආලෝකය අහිමිවද දිවි ගෙවති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, 2017 වර්ෂයට යෙදෙන දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂයට සමගාමීව 'දුප්පත්කම දුරු කරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහනක්' ක්‍රියාත්මක කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, දරිද්‍රතාවයෙන් පීඩා විඳින දුගී දුප්පත් පිරිස් බහුතරයක් ජීවත්වන ප්‍රදේශ ආවරණය වන පරිදි, වර්ග අඩි 550 ප්‍රමාණයේ නිවාස ඒකක 25කින් සමන්විත ආදර්ශ ගම්මාන 20ක් එක් දිස්ත්‍රික්කයකට ඇතුළත් වන සේ සමස්ත නිවාස ඒකක 12,500ක් ඉදි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.